ඉතිහාසය


දෙවන ලෝක යුද්ධ සංග්‍රාමය අභියස සිටි වකවානුවේදී එනම් 1937 දී බ්‍රිතාන්‍ය කිරීටයේ යටත් විජිතයක්ව පැවති ශ්‍රි ලංකාව තුල බ්‍රිතාන්‍ය නාවික හමුදාවේ සහයෝගය උදෙසා ‘ලංකා රාජකීය ස්වේච්ඡා නාවික බලඇණිය’ (Ceylon Royal Naval Volunteer Reserve) පිහිටු වීමට කටයුතු කරන ලද අතර, 1950 දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ශ්‍රි ලංකා රාජකීය නාවික හමුදාව ලෙසද 1955 පසු යටත් විජිත නාමයෙන් බැහැරව ශ්‍රි ලංකා නාවික හමුදාව ලෙස පුරා වසර 67 ක කාලයක් අභීත සෙන්පතියන් රටට බිහිකරමින් විරාජමානව ලංකා දෙරණ ආරක්ෂා කිරීම සදහා කැපවී ඇත.

ශ්‍රි ලංකා නාවික හමුදාවේ ආරම්භය වු ඈත අතීතයට නාවික වැටුප් අංශයේ ඉතිහාසය ද විහිද යයි. අතීතයේ නාවික හමුදාව සතු මෙහෙයුම්-සැපයුම් -ඉංජිනේරු-වෛද්‍ය-පුද්ගල වු ප්‍රධාන අංශයන් අතුරින් සැපයුම් අංශය වඩා ආකර්ශණීය තැනක් හිමිකරගත් අතර 1950 වන විට එහි ප්‍රධානතම රාජකාරිය වී ඇත්තේ වැටුප් ගෙවීම් කටයුතු බව නාවික හමුදා ඉතිහාසය පිළිබදව රචිත ග්‍රන්ථයන්හි සදහන්වේ. ලංකා රාජකීය ස්වේච්ඡා නාවික බලඇණියේ තිබු වැටුප් පාලක (Pay Master) තනතුර 1950 පටන් සැපයුම් නිලධාරී (Supply Officer) වශයෙන් සංශෝධනය වී ඇත.

ආරම්භයේදී නාවික හමුදා මුලස්ථානය කේන්ද්‍ර කරගනිමින් අධ්‍යක්ෂ සැපයුම් හා ලේඛණ යටතේ එක් මාණ්ඩලික නිලධාරියෙකු සහ ඉතා කුඩා කාර්ය මණ්ඩලයක් මගින් පවත්වාගෙන යන ලද වැටුප් අංශය තම වැටුප් සකස්කිරීමේ කටයුතු සාම්ප්‍රදායික ලේඛණගත ක්‍රියාවලියක් හරහා ක්‍රියාත්මක වි ඇත. නාවික හමුදාවේ පිරිස් බලය වර්ධනයත් ලේඛණගත ක්‍රියාවලිය සදහා වැයවන මිනිස් පැය ප්‍රමාණය සැලකිල්ලට ගනිමින් 1987 වර්ෂයේදී මුල් වරට පරිගණක තාක්ෂණය උපයෝගී කරගනිමින් වැටුප් සැකසීමට නාවික හමුදාව කටයුතු කර තිබේ.

ඊළාම් යුද්ධයේ ආරම්භයෙන් පසු නාවික හමුදාව වෙත පැවරුණු රාජකාරීන් සදහා වැඩි පිරිස් බලයක් බදවාගත් අතර, ඒ අනුව නාවික හමුදා මුලස්ථානය තුල පිහිටි වැටුප් අංශය නාවික හමුදා සේවක සංඛ්‍යාව හා සැසදීමේදී වැටුප් හා විශ්‍රාම වැටුප් අවශ්‍යතාවයන් සපුරාගැනීම සදහා ප්‍රමාණවත් ඉඩපහසුකම් නොමැති වීමත් යුද්ධයේදී මියගිය සහ අබාධිත වුවන් වෙනුවෙන් කඩිනමින් කටයුතු කිරීමට අවශ්‍ය වු බැවින් එය වැඩි ඉඩකඩ සහිත ස්ථානයකට රැගෙන යාමේ අවශ්‍යතාවය පැණ නැගී ඇත. ඒ අනුව 2002 ජුලි මස 24 වන දින නාවික වැටුප් කාර්යාලය ‘ශ්‍රිලංනානෞ ගැමුණු’ නාවික කදවුර තුළ ස්ථාපනය කරන ලදී.

එම කාලයේදී වඩා කාර්යක්ෂම සේවාවක් සදහා පරිගණක තාක්ෂණය සහ දියුණු පරිගණක වැඩසටහන් හදුන්වා දෙමින් නාවික වැටුප් අංශය සංවර්ධනය වු අතර, වැටුප් සැකසීමේ ක්‍රියාවලියේ පහසුව, විනිවිදභාවය, කාර්යක්ෂමතාවය සහ ආරක්ෂාව සදහා නාවික නීති අංශයත්, තොරතුරු තාක්ෂණ අංශයේත් සහය ලබා ගැනීමට කටයුතු කරන ලදී.

නාවික වැටුප් අංශයේ කාර්ය මණ්ඩලය වැඩි වීමත්, එහි රාජකාරීන් සහ වගකීම් ප්‍රමාණයද අවධානයට ගෙන වෙනම අධ්‍යක්ෂකවරයෙකු පත් කිරීමේ අවශ්‍යතාවයක් පැණ නැගුණු හෙයින් 2004 වර්ෂයේදී අධ්‍යක්ෂ නාවික (වැටුප් හා විශ්‍රාම වැටුප්) දෙපාර්තමේන්තුව පිහිටුවන ලදී. එමෙන්ම ප්‍රථම අධ්‍යක්ෂ නාවික (වැටුප් හා විශ්‍රාම වැටුප්) ලෙස 2004 ජුනි 15 දින නාවික හමුදාධිපතිතුමන් විසින් කොමදෝරු (සැ) එම් පේමතිලක නිලධාරියා පත් කරන ලදී.

එතැන් සිට අධ්‍යක්ෂ නාවික (වැටුප් හා විශ්‍රාම වැටුප්) දෙපාර්තමේන්තුව තුල පහත අංශයන් පිහිටුවීමට කටයුතු කරන ලද අතර, මේ දක්වා නාවික හමුදා පුද්ගලයින්ට අවශ්‍ය සේවාවන් වඩාත් ඵළදායී අන්දමින් ලබා දෙමින් විකාශණය වෙමින් පවතී.

1.

වැටුප් අංශය

2.

විශ්‍රාම වැටුප් අංශය

3.

මියගිය හා ආබාධිත නාවික පුද්ගලයින්ගේ වැටුප් සැකසීමේ අංශය

4.

විගණන අංශය

මෙහෙවර


 

උත්තරීතර මාතෘ භූමිය ත්‍රස්තවාදයෙන් මුදාගැනීමේ කාර්යයේදී රණබිමේ තම වටිනා ජීවය වා තලයට මුදාහළ වීරෝධාර නාවික රණවිරුවන්ගේ සහ ශරීරයේ අගපසග අහිමිවී ආබාධිත තත්ත්වයට පත් වු නාවික විරුවන්ගේ ප්‍රතිලාභීන් සදහාත්, ශ්‍රිලංකා ධරණිතලය සුරැකීම සදහා තාරුණ්‍ය දිවිහිමියෙන් කැප‍කොට ගෞරවාන්විත සේවයකින් පසු සැදෑ සමයට පියමනින නාවික පුද්ගලයින් මෙන්ම දැනට සක්‍රීයව සේවයේ යෙදී සිටින නාවික පුද්ගලයින්ද ඇතුලුව සමස්ථ ශ්‍රි ලංකා නාවික හමුදා සාමාජිකයින් සදහා තොරතුරු තාක්ෂණය සමග කාර්යක්ෂම සේවා කළමණාකරණ ක්‍රමවේද භාවිතය තුළින් නාවික වැටුප් හා විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ ඵළදායී අන්දමින් පිළිගැන්වීම.

පරමාර්ථ


1.

මාතෘභූමිය වෙනුවෙන් දිවිපිදු සහ අතුරුදහන් වු නාවික විරුවන්ගේ නෛතික යැපෙන්නන් සදහා වැටුප් හා විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ කඩිනමින් හිමිගැන්වීම

2.

මාතෘභූමියේ චිරස්ථිතිය උදෙසා තම දිවි කැප කොට ආබාධිත තත්වයට පත්වු සහ පත්වන නාවික විරුවන් උදෙසා වැටුප් හා විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ හිමිගැන්වීම

3.

ගෞරවාන්විත වු සේවා කාලයක් අවසන් කර විශ්‍රාම දිවියට එළැබෙන නාවික පුද්ගලයින් සදහා නියමිත දිනට විශ්‍රාම වැටුප් සහ ප්‍රතිලාභ හිමිගැන්වීම

4.

නාවික වැටුප් හා විශ්‍රාම වැටුප් සම්බන්ධ සේවාවන් වඩා ඵළදායි සහ කාර්යක්ෂම අයුරින් විශ්‍රාමික සහ දැනට සේවයේ යෙදී සිටින නාවික සහ සිවිල් ප්‍රජාව වෙත ඉතා පහසුවෙන් ලබා දීම

5.

රාජ්‍ය මුල්‍ය ප්‍රතිපත්ති හා මුල්‍ය ප්‍රමිතිකරණයන්ට අනුකූලව නිවැරදි පුද්ගලයාට, නිවැරදි වටිනාකමින් යුත් වැටුප් හා විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ හිමිගැන්වීම